චන්න පදිංචිව සිටින්නේ කඩුවෙලය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්‌වා පාසල් අධ්‍යාපනය ලැබූ මොහු ජීවිතයේ නැති බැරි අමාරුකම් හමුවේ ඇති තරම් තැළුණ, සැලුන, හැඩුව පාසල් ශිෂ්‍ය දිවියක් ගෙවා දැමීය. මොහුගේ මව සමඟ උරණ වූ පියා මීට කලකට පෙර දරුවාද අතහැර දමා යන්න ගිය පසු චන්නගේ පාසල් දිවියද ඕනෑවට එපාවට ගෙවී යන්නට විය.
වයස අවුරුදු පහළොව, දහසය පිරෙන විටම වෙල්ඩින් වැඩපළක පොඩි පොඩි වැඩකර කීයක් හෝ උපයාගන්නට චන්නට සිදුවූයේ බඩවියත රැක ගැනීමට මිස රස බොජුන් වැළඳීමට නොවේ.
චන්නගේ ජීවිතය පිළිබඳත්, මේ නරකාදියෙන් ගොඩ ඒමේ එකම මග රට යැම යෑයි කල්පනා කළ චන්නගේ මව රට රස්‌සාවකට යන්නේ චන්නගේ ජීවිතය පාළු කරමිනි.
චන්න කටේ කිරි සුවඳ යන්නටත් පෙර හොඳ වෙල්ඩින් කාර්මිකයකු බවට පත් වූයේ ඔහුට පිහිටි උපන් හපන්කම නිසාය.
චන්න අඩි හයකට ආසන්න උසින් යුත් තරුණයෙකි. කෙසඟ සිරුරකට උරුමකම් කී හේ කඩවසම් තරුණයකු නොවේ යෑයි කීම ටිකක් අමාරුය. චන්නට වයස අවුරුදු විසිඑක පිරුණේ නොබෝදාය. වයස අවුරුදු විස්‌ස පිරෙන විට චන්න තරුණියක විවාහ කරගන්නේ මේ පාළු ජීවිතේ තවදුරටත් තනියෙන් තැබීම, අවදානමක් බව තේරුම්ගොස් තිබූ නිසාය.
මේ තරුණයා සිය ප්‍රියම්බිකාවිය සමඟ කඩුවෙල ප්‍රදේශයේ නිවසක් කුලියට ගන්නේ නිවසක් තනන්නට වත්කමක් නැති නිසාය. ටික කලක් ගතවිය.
චන්නට හරි අපූරු සිතුවිල්ලක් පහළවිය. හේ සතෙන් සතේ, රුපියලෙන් රුපියල එකතු කරගත් මුදලින් පාවිච්චි කළ පරිගණකයක් මිලදී ගෙන නිවසට ගෙනාවේය. පරිගණකයේ ෙµdටෝ ෂොප් පිළිබඳ හාන් කවිසියක නොදත් චන්න එක එක දේවල් කරන්නට පටන් ගත්තේය.
පරිගණකය මිලදී ගත් මුල් කාලයේ එහි මවුසයවත් ඇල්ලීමට නොදත් හේ කිහිප විටක්‌ම පරිගණකයේ සඳහන් ඊතලය අවශ්‍ය තැන රඳවා ගත්තේ ද පුදුම පරිශ්‍රමකින්ය.
චන්නට සති කිහිපයක් යන විට පරිගණකය පිළිබඳ පුළුල් දැනුමක් ලැබිණි. ඉංග්‍රීසි හරිහැටි නොදැන සිටියද අන්තර්ජාලය (ෂබරුරබැඑ) හරහා හේ බොහෝ දැ දැක බලා ගත්තේ හරියට පරිගණක පාඨමාලා කර විශ්වවිද්‍යාල වලින් තොරතුරු තාක්‍ෂණ උපාධිගත් අයට නොදෙවැනි ලෙසිනි.
“මට හරියට ඉගෙන ගන්න කවුරු හරි ඒකාලේ උදව් කළානම් මට පරිගණක ඉංජිනේරුවෙක් වෙන්න තිබුණා. චන්න වරෙක බිරිඳත් සමඟ රාත්‍රියේ එසේ කීවේ ඇයගේ මුහුණට ළංවෙන ගමන්ය.
චන්න ඊට පහුවැනිදා එළිය වැටුණ සැණින්ම නගරයට ගොස් මහජන සම්පත ලොතරැයියක් මිලදීගෙන ආවේ අලුත් බලාපොරොත්තුවකින් සිත පුරෝගෙනය. ලොතරැයිය දිනා කෝටිපතියකු වන සිහිනයට වඩා ඔහුට අලුත් ක්‍රමයකින් පොහො සත්වන්නට පාර කියා දී තිබුණේ පරිගණකයය.
හේ පරිගණකයේ ෆොටෝ ෂොප් හරහා මහජන සම්පත ලොතරැයියට සමාන ලොතරැයියක් සැකසුවේ සිත පිනා යන ප්‍රීතියෙනි. ඔහු ප්‍රින්ටරයක් ද මිලදීගෙන ආවේ අලුත් වැඩේ සාර්ථක බව තේරුම් ගනිමිනි.
ලොතරැයි මණ්‌ඩලයේ උදවිය විශාල වැටුප් ලබාදී ලොතරැයි මුද්‍රණය කරද්දී, චන්න නිවසේ පරණ කොම්පියුටරයකින් ලොත රැයි මුද්‍රණය කළේ උපන් හපන්කම්ද සමගිනි.
“නියමයි නියමයි” හේ පළමු වරට මුද්‍රණය කරගත් ලොතරැයිය දෙස බලා කෑ ගසා සිංදුවක්‌ද මිමිණුවේය.
ඊළඟ සැලසුම පිළිබඳවද හේ කල්පනා කළේය.
ඒ අනුව මිතුරකුගේ හැඳුනුම්පතක්‌ද ලබාගත් ඔහු ඒ හැදුනුම්පතද ස්‌කෑන් කර, එහි යම් යම් නම් වෙනස් කර අලුත් හැඳුනුම්පතක්‌ද සැකසුවේ කෙස් ගසක හෝ වෙනසක් නොවන පරිදිය.
දැන් චන්න යන්නේ වැරැදි පාරකය. ඔහු පරිගණකය මගින් ව්‍යාජ ලොතරැයි මුද්‍රණය කරන්නේ වංචාවෙන් මුදල් උපයන්නටය.
ඔහු රාත්‍රියේ රූපවාහිනිය ළඟට වී ලොතරැයි දිනුම් අදින දෙස බලා සිටින්නේ පෑනක්‌ද අතේ තබාගෙනය. ජයග්‍රාහී අංක හේ ලියා ගත් පසු කෙළින්ම කාමරයට වැදී පරිගණකය මගින් ව්‍යාජ මහජන සම්පත ලොතරැයි පත් සකසන්නේද බොහෝම ප්‍රවේශමෙනි.
මහජන සම්පත ලොතරැයි පතේ අවසාන අංක තුනට රුපියල් දහසක මුදලක් ලැබේ. රුපියල් දහසක් දක්‌වා වන ජයග්‍රාහී මුදල් ලොතරැයි අලෙවි කුටියකින් ලබාගත හැකි බවද ලොතරැයියේ සඳහන්ව ඇත. සෙසු ජයග්‍රාහී මුදල් ජාතික ලොතරැයි මණ්‌ඩලයෙන් ලබාගත යුතු බවද සඳහන්ව ඇත.
චන්න කල්පනා කළේ රුපියල් දහසක් ලැබෙන පරිදි ලොතරැයියේ අවසාන අංක සැකසීමටය. වැඩේ සාර්ථකය. මුද්‍රණය කළ ලොතරැයිය ව්‍යාජ එකක්‌යෑයි කීමට හැක්‌කේ කාටද?
ඔහු ලොතරැයි පතද අතට ගෙන බස්‌රථයකට ගොඩ වුණේ තරමක් චකිතයෙනි. කඩුවෙලින් ලොතරැයි දිනුම ලබා ගැනීම නුවණට හුරු නැති නිසා ඔහු පිට තැනකින් ලොතරැයි දිනුම ගන්නට ගියේ එනිසාය. අහිංසක ලොතරැයි වෙළෙන්ද කුගෙන් රුපියල් දහසේ දිනුම ගත් හේ ටිකට් පත් කිහිපයක්‌ද මිලදී ගත්තේ ලොතරැයි වෙළෙන්දාගේ සිත සතුටු කිරීමටය.
සාර්ථකය. රුපියල් දාහ මවන මන්තරේ පරිගණක යන්ත්‍රය බවට පත්විය. දවසකට එක ලොතරැයියක් බැගින් මුද්‍රණය කරන චන්න දිනපතාම මේ දහසේ ලොතරැයි ජයක අයිතිකරු වූයේ කාටවත් මේ ජාවාරම පිළිබඳ නොදැනෙන පරිදිය.
චන්න සක්‌විතිට දෙවැනි නැත.
ඉංගිරිය, හොරණ, පාදුක්‌ක, මීපේ, ගොඩගම, මාලබේ, අතුරුගිරිය, දෙහිවල පමණක් නොව ප්‍රදේශ ගණනාවකට යමින් මොහු ව්‍යාජ ලොතරැයියේ රුපියල් දහසක ජය දිනපතාම ලබා ගත්තේ හොඳ සල්ලිකාරයකු බවට පත්වෙමිනි.
අපි පොඩි ලොරියක් ගමු. එතකොට මොනව හරි බිස්‌නස් එකක් කරන්න පුළුවන්නේ. දිනක් බිරිඳට චන්න කීවේ දියුණුවන මිනිසකුගේ හැටි පෙන්වන්නට මෙනි.
චන්න පරණ පුරුදු රස්‌සාවද අතහැර දැමුවේ නැත. ඔහු වෙල්ඩින් වැඩපළවල වැඩටද ගියේය. යතුරු පැදියක්‌ද මිලදී ගත් ඔහු නිවසට අවශ්‍ය ගෘහ භාණ්‌ඩද ගෙනාවේ බිරිඳ ගේ ආදරය මුවහත් කරමිනි. බිරිඳට මේ දියුණුව හරි සතුටකි. ඇයටද වෙනදාට වඩා ඇඳුම්, පැළඳුම්, කෑම බීම ලැබිණි.
චන්නගේ ළමාවියේ දුක් ගැහැට ටික ටික ලිහී වැටුණේ ව්‍යාජ ලොතරැයිපත් වලට පින්සිදු වන්නටය.
දිනක් මොහු ව්‍යාජ ලොතරැයියක් රැගෙන ඉංගිරියට ගියේය.
“මට ඔයාගේ අයිඩෙන්ටිය දෙන්න.” ලොතරැයි අළෙවිකරු කීවේ සිතට නැගුණ සැකය නිසාය.
“ආ මෙන්න” චන්න අයිඩෙන්ටිය දික් කළේ ඉතා සැහැල්ලුවෙනි.
කෝකටත් කියා හැඳුනුම්පත් අංකය ලොතරැයියේ පිටුපස සටහන් කළ එම ලොතරැයි අලෙවිකරු රුපියල් දහසක් ගෙන චන්නට දික් කළේය. චන්න කෝකටත් සූදානම්ය.
මෙලෙස රුපියල් දහස බැගින් හම්බ කළ චන්න පොහොසත් වනවිට අහිංසක ලොතරැයි අලෙවිකරුවන් මහ අමාරුවක වැටිණ. විශේෂයෙන්ම ලොතරැයි අලෙවි නියෝජිතයින් ජාතික ලොතරැයි මණ්‌ඩලයට අදාළ ටිකට් ඉදිරිපත් කළ පසු ඒ අයවද අමාරුවේ වැටිණ, ප්‍රශ්න කෙරිණ, රුපියල් දහසක් පාඩු වෙනවාට. අමතරව එක එක ප්‍රශ්නවලට ලක් වෙමින් රස්‌තියාදු වීමට ඔවුනට සිදුවිය.
මේ රටේ හැටි එහෙමය. හොරු කොහෙත් සිටිති. මේ හොරු නිසා අමාරුවේ වැටෙන්නේ අහිංසකයන්ය. මහහොරා අහිංසකයන්ගේ මුදල් හොරාගෙන සැප විඳින්නට සිතයි. නමුත් හොරකමට ආයුෂ නැත. හොරා විඳින්නේ තාවකාලික සැපතකි. ඒ සැප අවසන් වන්නේ මහ දුකකිනි. සක්‌විතිටත්, චන්නටත් වූයේ ඒකය.
ඉංගිරියේ ලොතරැයි පතේ සඳහන් හැඳුනුම්පත ඔස්‌සේ පරීක්‍ෂණ ආරම්භ කිරීමට බස්‌නාහිර පළාත් බුද්ධි කොට්‌ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි නිහාල් පෙරේරා මහතාට මෙහි පරීක්‍ෂණ බාර දෙන්නේ ජාතික ලොතරැයි මණ්‌ඩලය කළ පැමිණිල්ලට අනුවය.
පොලිස් කණ්‌ඩායමක් අදාළ හැඳුනුම්පත් අංකය පරික්‍ෂා කරන්නේ ඒ අනුවය. පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවට ලබා දෙන අදාල හැදුනුම්පත් අංකය අනුව පුද්ගලයා හඳුනා ගත්තේය. ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කරන විට ඔහු කියා ඇත්තේ මීට කලකට පෙර හැඳුනුම්පත නැති වූ බවය. පොලිසිය පරීක්‍ෂණ නතර කරන්නේ නැත. අදාළ සැකකරුගෙන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලය වන්නේ “චන්න” මීට කලකට පෙර හැඳුනුම්පත ලබා ගත් බවය.
චන්න කොටුවෙන්නේ ඒ පාපොච්චාරණය මතය.
බස්‌නාහිර පළාත් බුද්ධි කොට්‌ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි නිහාල් පෙරේරා මහතාගේ උපදෙස් මත කළුතර දිස්‌ත්‍රික්‌කයේ ස්‌ථානාධිපති පොලිස් පරික්‍ෂක නාලක ජී. සුමනරත්න (බේරුවල), පොලිස් පරීක්‍ෂක සාලිය ප්‍රියන්ත (කළුතර දකුණ), උප පොලිස් පරීක්‍ෂක ගාමිණී (මතුගම) සැරයන් අල්විස් (5284) (අළුත්ගම), සැරයන් කාංචන (බේරුවල), කොස්‌තාපල් නිලන්ත (29018) නුගේගොඩ බුද්ධි කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආර්. ඩබ්ලිව් කේ. විතාන, කොස්‌තාපල් ඉන්ද්‍රජිත් (56993) යන නිලධාරීහු “චන්න” අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නේ ඒ අනුවය.
පරිගණකයද, මුද්‍රණ යන්ත්‍රයද අත්අඩංගුවට ගන්නා පොලිසිය සැකකරු කඩුවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු ලබන 25 වැනිදා සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස අධිකරණය නියෝග කරන්නේය. රාජපක්‍ෂලාගේ චන්න නමැත්තා දැන් කියන්නේ මේ වැඩේ ළඟදීම නතර කරන්නට සිතාගෙන සිටි බවය.
“තණ්‌හාය ජායති සෝකෝ” තණ්‌හාව නතර වෙන්නේ මෙතැනිනි. රුපියල් ශත සොයන්නට කෙටි ක්‍රම, ලෙහෙසි ක්‍රම සොයන කාටත් මෙය පාඩමකි. මේ පාඩම් කොතෙක් ඇසුවත් අදටත් ව්‍යාජ හැඳුනුම්පත් සකසන, ව්‍යාජ මුදල් අච්චු ගසන, ව්‍යාජ ලියකියවිලි සකසන, බොරුකාරයින්, වංචාරකාරයින්, හොරු, ජාවාරම්කරුවන් කොපමණ සිටිත්ද?
චන්න එක අතකට දක්‍ෂයෙකි. සක්‌විතිද දක්‍ෂයෙකි. මේ දස්‌කම හොඳ දෙයකට, සමාජ යහපතට මාරු වන්නේ නම් මොවුනට මීට වඩා හොඳ කලක් යන බව අපට විශ්වාසය.
divaina
Post a Comment
Your comment will be visible after approval