ඕපා දුප වෙබ් අඩවි පිලිබඳ කලාකරුවෝ කිහිපදෙනෙකු දක්වන අදහස් අද රසදුන අතිරේකයේ පල වෙනවා.
- ඇයි අපිට මේ විදියට අපහාස කරන්නේ -උදාරි
- ඒ මිනිස්සුන්ව එල්ලලා මරන්න ඕන -උදයන්ති
- හොඳ දේවල් වෙබ් අඩවිවල නෑ - අයෝමි
- ගින්නක් නැතිව නඟින දුම් තියෙනවා-ජැක්සන්
ඇයි අපිට මේ විදියට අපහාස කරන්නේ - උදාරි වර්ණකුල සුරිය
මේ දවස්වල වෙබ් අඩවිවල මගේ නමට වැඩි ඉඩකඩක් දීලා තියෙනවා, අපහාස කිරීම් වලින්ම. හැම මාසයකම‘උදාරි වර්ණකුලසූරිය’ කියන නමට නම් මොනවා හරි අපහාස කිරීමක් නම් අනිවාර්යයි.
ඇත්තටම වෙබ් අඩවි වල ඕපාදූප යන්න ඕන. නමුත් ඉතාම කැත විදිහට අපිට කෙනකුගෙ මූණ බලන්න බැරි වෙන විදිහට තමයි මේ වෙබ් අඩවිවල විවිධ ප්‍රවෘත්තී අපේ නම අළලා පළ වෙන්නේ.
මෙය ඇත්තටම නවත්තන්න ඕන. ඇයි අපිට මේ විදිහට අපහාස කරන්නේ. එක දවසක ඇමැති කෙනෙක් ගෙ නමක් එක්ක මගේ නම ඈදල ප්‍රවෘත්ති පළ කරනවා. තවත් දවසක රටේ ජනප්‍රිය පුද්ගලයකු එක්ක ගියා කියල ඕපාදූප කතන්දර හදනවා.
ඇත්තටම අපේ ජනප්‍රියත්වය උහුලගන්න බැරි අය තමයි මේ වැඩ කරන්නේ. ඒ අයට අපි ඉහළට යනව දකින්න අපහසුයි. මම හිතන්නේ පල ඇති රුකටනේ ගල් ගහන්නේ.
ඇත්තටම මගේ නම විකුණලා තමන්ගේ ලාභය තකා තමන්ගේ වෙබ් අඩවි ප්‍රචලිත කරගන්න හදන ඒ අශීලාචාර මිනිසුන්ට මම අනුකම්පා කරනවා.
ඒ මිනිස්සුන්ව එල්ලලා මරන්න ඕන - උදයන්ති කුලතුංග
මගේ නමට මේ දවස්වල ඇති කරල තියෙන කැළල නම් හරිම දරුණුයි. හරිම කැත විදිහට මමත් සංගීත අංශයේ ප්‍රවීණයකුත් සම්බන්ධ කරලා.
ඉතාම අශෝබන අන්දමේ ඕපාදූපයක් වෙබ් අඩවියක ප්‍රචලිත කරලා තියෙනවා. ඇත්තටම මේ වෙබ් අඩවි පවත්වාගෙන යන අසීලාචාර මිනිසුන් ගැන මට නම් තියෙන්නේ හරිම කනගාටුවක්.
මම මේ දේවල් මට කලා කියලා මානසික අතින් වැටෙන කෙනෙක් නෙමෙයි. ඇත්තටම මේ දේ සාමාන්‍ය ගැහැනියකට වුණා නම් ඇය ගෙල වැළලා ගන්නවා. හැමෝම මේ ගැන දුරකතනයෙන් මගෙන් විමසනවා. ඇත්තටම එය හරිම දුකක්.
මේ වගේ වෙබ් අඩවි පවත්වා ගෙන යන මිනිසුන්ට රජ කාලෙ දඬුවම් දෙන්න ඕන. මම නං කැමැති ඒ වගේ කැත මිනිසුන්ව එල්ලලා මරනව නම්.මම වගකිව යුත්තන්ගෙන් ඉල්ලා හිටිනවා මේ වගේ ඉතාම අමානුෂික බොරු ප්‍රචාර ගෙන යන මිනිසුන්ව හොයලා ඒ අයට විරුද්ධව කටයුතු කරන්න කියලා.
අපි කරන හොඳ දේවල් වෙබ් අඩවිවල යන්නේ නෑ - අයෝමි ශානිකා
මම හිතන විදිහට මේ වගේ වෙබ් අඩවි පවත්වා ගෙන යන පුද්ගලයන්ට උපරිම දඬුවම් දෙන්න ඕන.
එක් කෙනකුට දඬුවමක් දුන්නට පස්සෙ නැවතත් මේ අය මේ වගේ වැඩ කරන්නේ නැහැ. මම දැනුවත්ව නරක විදිහට මගේ නම කැත කරන ප්‍රවෘත්ති අන්තර් ජාලයේ පළ නොවුණත් මගේ වෙබ් අඩවියට හොරෙන් ඇතුළු වෙලා මම වගේ පෙනී සිටිමින් මගේ රසිකයන් මුලා කරපු පිරිසක් හිටියා.
මේ අයට දඬුවම් කරන්න කටයුතු කළ යුතුයි කියා මම සිතනවා.
ගින්නක් නැතිව නඟින දුම් වෙබ් පිටු අතර තියෙනවා-ජැක්සන් ඇන්තනී
ගම්මැද්දේ ගහක එල්ලා තිබුණු කැලෑ පත්තරයත් සන්නිවේදන මාධ්‍යයක් තමයි. හැබැයි ඒක ජන සන්නිවේදනය නොවෙයි. ජන සන්නිවේදන ශිල්පියාට කැලෑ පත්තර කාරයාට වඩා සමාජ මානව වගකීමක් තියෙනවා.
හැබැයි අපේ රටේ මේ සුපිරි අන්තර්ජාල සන්නිවේදනයේ කැලෑ පත්තරෙන් එහාට නොගිය පහත් සන්නිවේදනත් තියෙනවා. ප්‍රවෘත්තියක් පළ කරන කොට එහි සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ වගකීමක් තියෙන්නේ වගකීම් සහිත ජන සන්නිවේදකයාටයි.
කැලෑ පත්තර කාරයාට ඒ වගකීම නෑ. ප්‍රතිරූප වලට ගල් ගැසීම හෙවත් ‘ඵල ඇති රුකට වවුල්ලු වැහීම’, ‘කිරි ගස් වලට හෙණ ගැහීම’ අද අන්තර්ජාලයේ අලුත් ම මෝස්තරය වෙලා.
ගින්නක් නැතිව නගින දුම් මේ වෙබ් පිටු අතර තියෙනවා. ‘බොරුව‘ සහ ‘අමූලික බොරුව‘ අතර තියෙන වෙනසවත් මේ අය දන්නේ නෑ. කාට හෝ අනියත චෝදනාවකින් මඩ ගසා තමන්ගේ වෙබ් පිටුව ප්‍රසිද්ධ කර ගැනීමේ මෝස්තරය හරි අනුවණයි.
මේ අය දන්නෙ නෑ ‘ප්‍රසිද්ධිය’ සහ ‘ජනප්‍රියත්වය’ කියන වචන දෙකේ වෙනස. පාර මැද්දෙ හෙලුවැල්ලෙන් හිට ගත්තහම ජනපි‍්‍රය වෙන්නෙ නෑ. හැබැයි ප්‍රසිද්ධ වෙනවා. ‘හිට්ලර් ජනප්‍රිය නෑ. හැබැයි ප්‍රසිද්ධයි. මතක තියාගන්න ඕනෙ මේ සයිබර් අවකාශයේ ඉතාමත් ප්‍රයෝජනවත් තොරතුරු තියෙනවා.
ලංකාවේ ඉන්න වෙබ් මාධ්‍ය කරුවන් හැමෝටම මේ චෝදනාව එල්ල කිරීම වැරදියි. මා පවා පෞද්ගලිකව වෙබ් පිටු වලින් අධ්‍යාපන ලබනවා. විද්‍යුතයට ගැළපෙන දියුණු වූ මාධ්‍ය අවබෝධයෙන් යුතු නිවැරදි මාධ්‍ය කරුවන් අතරින් මේ නිර්නාමික කැලෑ පත්තර කාරයා වෙන් කොට හඳුනා ගත යුතු වෙනවා.
මේ මාධ්‍ය විරෝධී මඩ ව්‍යාපාරවලින් සයිබර් අවකාශය බේරා ගන්න වෙනවා. මේ නිර්නාමික විද්‍යුත් කැලෑ පත්තර වලින් හානි වෙන්නෙ ලංකාවේ ජනමාධ්‍ය කලාවයි. සියලුම ජනමාධ්‍ය ප්‍රාමාණිකයින්, වගකිව යුත්තන් මේවාට විරුද්ධව ප්‍රතිපත්තිමය ලෙස නැගී සිටීමක අවශ්‍යතාව පෙනෙනවා. නැත්නම් මේ රටේ අනාගත පරම්පරාවත් විනාශයි, මාධ්‍ය ප්‍රජාවත් විනාශයි, සයිබර් අවකාශයත් විනාශයි.
Post a Comment
Your comment will be visible after approval