සිංගප්පූරුවේ පැවති 73 වෙනි විවෘත මලල ක‍්‍රීඩා තරගාවලියේදී මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම ලබා ශ‍්‍රී ලංකාවට විශාල කීර්තියක් ලබාදුන් උපමාලිකා රත්නකුමාරි ක‍්‍රීඩිකාවට අංග සම්පූර්ණ නව නිවසක් ලබාදීමට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් වෙයි. උපමාලිකා රත්නකුමාරි ක‍්‍රීඩිකාව පසුගිය දා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ දී හමුවූ අවස්ථාවේදී මේ බව විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් ඇයට දැනුම් දෙන ලදි.
තවත් සතියකින් මෙම නිවස ඉදිකිරීමේ කටයුතු ඇයගේ පැරණි නිවස පිහිටි දඹුල්ල, බුලාගල යන ප‍්‍රදේශයේදී ආරම්භ කිරීමට කඩිනමින් ක‍්‍රියාකරන ලෙසට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. ”ජනසෙවණ කැපකරු” නිවාස යෝජනා ක‍්‍රමය යටතේ ඉදිකෙරෙන මෙම නිවස වෙනුවෙන් වැයකෙරෙන මුදල රුපියල් ලක්ෂ 15 කි.
නිවසේ ඉදිකිරීම් කටයුතු මාස 3 ක් ඇතුළත අවසන් කිරීමට නියමිතයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හා රාජ්‍ය සමාගමක් වන ඕෂන් විව් ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් හා මෙහෙයවීමෙන් මෙම නිවස ඉදිකෙරෙන අතර ඒ සඳහා ශ‍්‍රම දායකත්වය ලබාදෙන්නේ යුධ හමුදාවයි.
උපමාලිකා රත්නකුමාරි ක‍්‍රීඩිකාවට සහෝදරයින් තිදෙනෙකි.
ඇයට පියා අහිමි වී ඇති අතර මව කරනුයේ කිරිහරක් බලාගැනීමය. කිරිහරක් පාලනයට යාමේදී මවගේ එක් පාදයක් ආබාධයකට ලක්වී තවමත් ප‍්‍රතිකාර ලබමින් සිටී. උපමාලිකාගේ පවුලේ සාමාජිකයින් දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පා සිටින අතර ඉතා අඩුපහසුකම් යටතේ පවතින නිවස ඇත්තේ ගරාවැටීමට ආසන්න තත්ත්වයකය.
උපමාලිකාගේ අසරණ තත්ත්වය මාධ්‍ය මගින් දුටු විමල් වීරවංශ අමාත්‍යවරයා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත‍්‍රික් කළමණාකරු ජයන්ත විල්ගමුව මහතාට උපදෙස් ලබාදුන්නේ උපමාලිකා ක‍්‍රීඩිකාවගේ දඹුල්ලේ පිහිටි නිවසට ගොස් තොරතුරු සොයාබලන ලෙසයි. එම තොරතුරුවලට අනුව උපමාලිකා ක‍්‍රීඩිකාවගේ නිවාස ගැටළුවට කඩිනමින් විසඳුම් ලබාදීමට ඇමතිවරයා තීරණය කළේය.
Post a Comment
Your comment will be visible after approval