මෙගා සංගීත් රියෑලිටි කලාවෙන් එහා ගිය දෙයක්
- උරේෂා රවිහාරි
රන්වන් පුංචි මාළුවෝ
උන් කී ඒ කතන්දරේ
අක්‌කේ දැන් අහන්නකෝ….
ගායන අඹරේ දිදුළන තාරකාවක් වූ ඇගේ හඬ බොහෝ රසිකයන් හඳුනා ගත්තේ එලෙසිනි. එතැන් පටන් ගීත ලෝකයේ නොමැකෙන හඬ රාව නැංවූ ඇය නමින් උරේෂා රවිහාරිය. කලා පවුලකට දාව උපත ලැබූ නිසාම ඇගේ දක්‍ෂතාවන් තව තවත් උද්දීපනය කරගැනීමට දෙමාපියන්ගෙන් ලැබෙන්නේ නොමසුරු සහයෝගයකි. මේ දිනවල සිරස මෙගා සංගීත් වැඩසටහනේ ප්‍රධාන භූමිකාවක් හොබවන උරේෂාගේ තොරතුරු පිළිබඳ මීවිත විමසා බැලුවේ මෙලෙසිනි.
මේ දවස්‌වල අලුත් තොරතුරු මොනවද?
සුනිල් ආරියරත්නයන්ගේ කුසපබා චිත්‍රපටයේ ගීත කිහිපයක් ගායනා කළා. අනුරුද්ධ ජයසිංහගේ අලුත් ටෙලි නාට්‍යයේ පසුබිම් ගීතය ගායනා කළා. ඒ හැරුණු කොට වැඩි කාලයක් ගතවෙන්නේ සිරස මෙගා සංගීත් වැඩසටහනත් එක්‌ක තමයි.
බොහෝ රියෑලිටි වැඩසටහන් අවසන් වන්නේ විහිළුවක් වෙලයි. මෙගා සංගීතුත් එහෙම වෙයිද?
එහෙම ගත්තොත් ඔක්‌කොම රියෑලටි විහිළුවක්. මොකද ඒ හැම එකකම ජය පරාජය තීරණය වෙන්නේ ප්‍රේක්‌ෂක මනාපයෙන් වගේම විනිශ්චය මණ්‌ඩලයේ ලකුණුවලින්. ඒ නිසා මම මෙගා සංගීත් දකින්නේ අලුත් දෙයක් ඉදිරිපත් කරමින් අනිත් රියෑලිටි වැඩසටහන්වලට වඩා ඉදිරියට ගිය නිර්මාණාත්මක වැඩක් හැටියටයි. ඒ වගේම සුපර් ස්‌ටාර්ස් වටවලදී අන්තිම දොළොස් දෙනාගේ නොදැකපු හැකියාවන් මේ තරගයෙන් දකින්න පුළුවන්. ඒ නිසා එක පැත්තකින් මේක ලොකු අභියෝගයක් වගේම අනිත් පැත්තෙන් උද්යෝගිමත් වැඩසටහනක්.
එකම වැඩසටහනක වරෙක ඔබ තරගකාරියක්. තවත් වරෙක විනිශ්චයකාරියක්?
දෙකම ලොකු වගකීම් දරන චරිත දෙකක්. එක පැත්තකින් කණ්‌ඩායමක නායිකාවක්. අනිත් පැත්තෙන් දක්‌ෂයාට අවශ්‍ය ලකුණු උපරිමයෙන් දීමේ වගකීමත් මා සතුයි.
තරගකාරියක් ලෙසට කටයුතු කරන අතරවාරයේ ඔබේ ප්‍රතිරෝධී තරගකරුවන්ට සාධාරණ විනිශ්චයක් ලබාදෙන්න පුළුවන්ද?
එවැනි ප්‍රශ්නයක් මතු නොවෙන්න කණ්‌ඩායම් හයේම නායකයන් හයදෙනාම අත්හදා බලලා තමයි වැඩසටහනට වාඩි වුණේ. තරගකාරියක් හැටියට ගීතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා වගේම විනිශ්චයකාරියක් හැටියට හැමෝම එක හා සමානයි. කිසිම කෙනෙක් විශේෂ සහ අවශේෂ නැහැ. දක්‌ෂයාට උපරිමය ලබාදෙන්න තමයි උත්සාහ ගන්නේ.
ඔය අතරේÊනායකයන් හයදෙනා තුළ බහින් බස්‌වීම් එහෙම ඇති වෙන්නේ නැද්ද?
තාම නම් එහෙම වෙලා නැහැ. වුණා කියලා ප්‍රශ්නයකුත් නැහැ. මොකද ජනප්‍රිය වුණා කියලා පෞද්ගලික චරිත අතර තියෙන සටනක් නෙමෙයි. මේක නිර්මාණ අතර තියෙන සටනක්. අපි හයදෙනාම වැඩ කරන්නේ තමන්ගේ කණ්‌ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන්.
ඔබ මේ වැඩසටහනට සහභාගි වීමේ පරමාර්ථය වුණේ ජයග්‍රහණයද? නැතිනම් විනිශ්චය කිරීමද?
හැම කෙනෙක්‌ම තරගයකට සහභාගි වෙන්නේ ජයග්‍රහණය බලාගෙන. මමත් එහෙමයි. නමුත් පරාද වුණා කියලා දුක් වෙන්නෙත් නැහැ. විනිශ්චය මණ්‌ඩලයේ සාමාජිකත්වය හැමදාම තියෙනවා. ජයග්‍රහණයට ප්‍රේක්‌ෂක මනාප බලපානවා. එතනදි නියම ජයග්‍රාහකයා තේරෙන්නෙ නැති වෙන්නත් පුළුවනි. ජයග්‍රහණයට නම් ලොකුම සාධකය තමයි ප්‍රේක්‌ෂක මනාප.
මෙහි වැඩි ඉලක්‌කයක් යොමු වන්නේ සුපර් ස්‌ටාර්ස් තරගකරුවන්ට නේද?
ඔව්. ජනප්‍රිය චරිතත් එකතුව සාමූහිකත්වයෙන් කළාට මෙහි වැඩි වාසියක් සහ වටිනාකමක් ලබා දෙන්නේ සුපර් ස්‌ටාර්ස් තරගකරුවන්ට. අපි කරන්නේ එයාලට දිරිදීමක් විතරයි.
අපිට ලැබෙන අවස්‌ථාවලදි උත්සාහ ගන්නේ සාම්ප්‍රදායිකව ගායනා කළ රටාවෙන් ඔබ්බට ගිහිල්ලා වෙනසක් ඉදිරිපත් කරන්න.
විවාහයට ගෙදරින් හොයපු කෙනාව හම්බවුණාද?
ඉක්‌මනින්ම හමුවෙනකම් තමයි මමත් බලාගෙන ඉන්නේ.
හැමදාමත් සින්දු කිය කියා ඉඳලා හරියන්නේ නැහැ නේද?
ගොඩක් අය අහන ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් මම ඕනම දෙයක් ගැන ගොඩක් හිතන කෙනෙක්. ඒ නිසා විවාහය ගැන තීරණයක් දවසින් දෙකින් හිතලා ගන්නේ නැතිව මගේ ජීවිතය තුළ වැදගත් විදිහට ගන්න පුළුවන් වෙයි.
ඔහොම හොයලා ලැබුණු කෙනා කිව්වොත් දැන් සින්දු කිව්වා ඇති ගෙදර දොරේ වැඩ බලාගන්න කියලා?
එහෙම ප්‍රශ්නයක් ඇති නොවෙන්න තමයි යෝජිත විවාහයක් ගැන හිතුවේ. අනික ගායන ක්‌ෂේත්‍රයේ මම දැනුවත්ව නම් විවාහයෙන් පස්‌සේ එහෙම මැකිලා ගිය චරිත දැකලා නැහැ.
මට කෙනෙක් ආදරෙයි නම් මම ආසා කරන දෙයට අකමැති වෙන එකක් නැහැ.
ඒ කියන්නේ විවාහයෙන් පසුවත් ගායිකාවක් ලෙසට දිගටම රැඳෙනවා?
මෙච්චර කාලෙකට කිව්වේ සංගීතය මගේ ජීවිතය කියලා. නමුත් විවාහයත් එක්‌ක පවුල් ජීවිතයට මූලික තැන දීලා හොඳ ස්‌වාමියෙක් ලබලා සාම්ප්‍රදායික ගැහැනියකගේ බලාපොරොත්තු මටත් තියෙනවා. පවුල් ජීවිතයක් නැතිව රසිකයන් පිනවන කලාකාරිනියක් වෙලා මට වැඩක් නැහැ. ඒ නිසා සංගීතයට උපරිමයෙන් කැපවෙන්න බැරිවෙයි.
රසිකයන් වෙනුවෙන් අලුතින් ගීත ගැයුවේ නැද්ද?
අලුතින් ගීත කිහිපයක් එළිදක්‌වන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරින් එකකට රූප රචනාවකුත් කරන්න අදහසක් තියෙනවා.
සංයුක්‌ත තැටියක් එළිදක්‌වන්නත් හොඳ කාලය නේද?
මම හිතනවා මේ කාලේ සංයුක්‌ත තැටියක් එළිදක්‌වනවට වඩා හොඳ ගීත කීපයක් එළිදක්‌වනවා නම් හොඳයි කියලා. එතකොට අපි වෙන වෙහෙසත් එක්‌ක ගීත දහසයක් කරලා රසිකයන් වැළඳගන්නවට වඩා වැඩි ප්‍රතිචාරයක් ගීත කිහිපයක් කරලා ලබන්න පුළුවන්.
ලක්‌මිණී අතුකෝරල
ඡායා- සුරේන්
Post a Comment
Your comment will be visible after approval